Sunday 9 May 2021

අද ගෝඨාභය පැයකට රුපියල් කෝටි 25ක් ණයට ගන්නවා - හදුන්නෙත්ති කියයි


2020 මහබැංකු වාර්තාව අනුව ආණ්ඩුව එම වසර තුළ පමණක් රුපියල් බිලියන 2272ක් ණය ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. 

"මේ 2020 මහබැංකු වාර්තාවෙ එහෙම්පිටින්ම තියෙන්නෙ මේ ආර්ථිකයේ කඩාවැටීම බිඳවැටීම සිද්ධ වීමට ප්‍රධාන හේතුව කොවිඩ් හැටියට. නමුත් ඇත්තටම කොරෝනා වසංගතයට අපි හරියට මුහුණ දෙමින් තියෙන්නෙ දැන්. 

ඒ වසංගතයට මුහුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් තවත් ඉතුරුවෙලා තියෙනවද කියන ප්‍රශ්නය පැන නඟිනවා මේ මහබැංකුව ඉදිරිපත් කරලා තියෙන තොරතුරු දත්ත විශ්ලේෂණය කරලා බැලුවාට පස්සෙ. 

අවුරුද්දක් ඇතුළත පමණක් බිලියන 2272කින්, රුපියල් කෝටි දෙලක්ෂ විසි හත්දාහකින් රටේ ණය පංගුව වැඩිකරලා තියෙනවා.

 1948 ඉඳලා 2005 දක්වා බිලියන 2226යි, හැබැයි 2020 අවුරුද්දෙ විතරක් ආන්ඩුව බිලියන 2272ක ණය අරගෙන තියෙනවා.

 අද පැයකට රුපියල් කෝටි 25ක් ණය ගන්න තත්වයේ ආණ්ඩුවක් තමයි තියෙන්නෙ.

 රටේ සංවර්ධනයට යොදවන්න තිබිච්ච මුදල්, රටේ ජනතාවගේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදවන්න තිබිච්ච මුදල් අවසානයේ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් ණය අරගෙන තියෙනවා. 

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (09) ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. RN

No comments:

Post a Comment