Monday 10 May 2021

දුමින්ද සිල්වා නිදොස්කොට නිදහස්


මරණ දඬුවමට ලක්ව දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වාව නිදොස් කොට නිදහස් කරන ලෙස නීතිපතිවරයා වෙත උපදෙස් ලැබී ඇත .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නීතිපති දප්පුල ලිවේරා වෙත යවා ඇති 1969/2020 අංක දරන ලේඛනයට අනුව මෙම කරුණු අනාවරණය වෙයි .
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කරමින් තවත් පිරිසකට තුවාල සිදු කිරීම පිළිබඳව දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහිව කොළඹ අංක 2 ප්රධාන මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ ඉදිරියේ කරුණු ගොනු කෙරිණි .
පසුව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් ඉදිරියේ H C /8331/16 අංක යටතේ නඩු විභාගය පැවැත්විණි .ඉන් අනතුරුව එය කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විභාග කිරීමට තීරණය විය .
එහි සභාපති ධුරය දැරුවේ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නය .පද්මිණි රණවක සහ එම්. සී .බී .එස් .මොරායස් සෙසු විනිසුරුවෝ වූහ .එහි නඩු අංකය HC/7781/15 ලෙස සඳහන් වෙයි .
2016 සැප්තැම්බර් මස 8 වෙනිදා ප්රකාශයට පත් කෙරුණු එම නඩු තීන්දුව බෙදුනු එකකි .එහිදී විනිසුරු ශිරාන් ගුණරත්නගේ මතය වූයේ දුමින්ද සිල්වා ඇතුළු පිරිස සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළ යුතු බව ය.
නමුත් සෙසු විනිසුරුවන් දෙදෙනා වන පද්මිණි රණවක හා එම් .සී .බී .එස් .මොරායස් ගේ තීන්දුව වූයේ සියළු චෝදනාවලට ඔවුහු වැරදිකරුවන් බැවින් මරණ දඬුවම හිමිවන බවය .
ඒ අනුව ඔවුන් මරණ දඬුවමට නියම වී තවමත් සිරගතව සිටිති .මෙම දඬුවමට එරෙහිව විත්තිකරුවෝ ශ්රේෂ්ඨාධිකරණයට ගියේ සහනයක් බලාපොරොත්තුවෙනි .
එහිදී ශ්රේෂ්ඨාධිකරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය විභාග කළ ද ,විත්තිකරුවන් ඉල්ලන ලද සහන ඉවත දමමින් මහධිකරණය විසින් දෙන ලද මරණ දඬුවම ස්ථීර කරනු ලැබීය .ඒ 2018 ඔක්තෝබර් මස එකොළොස් වැනි දා ය .
නමුත් දුමින්ද සිල්වා නොකළ වරදකට ඔහුව පටලවා රහස් පොලිසියෙ හිටපු අධ්යක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අසත්ය සාක්ෂි නිර්මාණය කරමින් සාවද්ය මනුෂ්ය ඝාතනයකට පසුකර මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක සමග එකතුවී ඔහුට මරණ දඬුවම ලබා දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නීතිපතිවරයා වෙත යවා ඇති එම ලිපි ලේඛන වල සඳහන් වෙයි .
එබැවින් මෙම ක්රියාවට සම්බන්ධ වූ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවකට හා ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව අධිකරණයේ නඩු පවරන ලෙස ද නීතිපතිවරයා වෙත උපදෙස් ලැබී ඇත .
එම ලේඛන වල සඳහන් වන්නේ භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඝාතනයට දුමින්ද සිල්වාව අත් අඩංගුවට ගෙන රහස් පොලිසියේ තබා ගැනීම පවා බරපතල වරදක් බවය .
මෙය ඉතාමත් අපූරු දෙයකි .2011 ඔක්තෝබර් මස 8 වැනිදා සිදු වූ භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඝාතනය වෙනුවෙන් පරීක්ෂණ පැවැත්වීම සහ නඩු විභාග කිරීම පවා රාජපක්ෂ ආණ්ඩුවට බරපතල වරදක් වී ඇති බව පෙනේ .
එබැවින් දුමින්ද සිල්වාව නිදහස් කරන ලෙස පසුගියදා පාර්ලිමේන්තු මන්ත්රීවරු 115 දෙනෙකුගෙන් යුත් අත්සන් ලේඛනයක් ද ජනාධිපතිවරයා වෙත භාරදී තිබිණි .
එයට විපක්ෂය නියෝජනය කරන සජිත් ප්රේමදාසගේ පාර්ලිමේන්තු මන්ත්රීවරු හය දෙනෙක් ද අස්සන් කර තිබිණි .එමගින් විපක්ෂයේ ස්වභාවයද කාට කාටත් පෙනෙනු ඇත .
එම මන්ත්රීවරුන් එම ලේඛනයට අත්සන් කර ඇත්තේ දුමින්ද සිල්වා පාර්ශවයෙන් ලැබුණු මුදල් ගනුදෙනුවට අදාළව බව ද කියැවෙයි .එක් අයෙකුට රුපියල් ලක්ෂ 40 බැගින් එලෙස ලැබුණු බව ද ප්රචාරය විය.එහෙත් එය තහවුරු කර ගැනීමේ හැකියාවක් නැත.
කොරෝනා වසංගතය අස්සෙ රන්ජන් රාමනායකට ජනාධිපති සමාවක් දීමේ ස්වභාවයක් ඇත .ඊට සමගාමීව දුමින්ද සිල්වාට ද ජනාධිපති සමාවක් ලබාදී නිදහස් කිරීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බව නිල නොලත් කතාබහකින් කියවුනු දෙයකි .
මෙලෙස බලන විට භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර වෙඩි තබා ඝාතනය කර ඇත්තේ දුමින්ද සිල්වා ඇතුළු පිරිස නොවේද ? එසේනම්, කවුද ? මෙයත් හරියට ඝාතකයෙක් නැති ,ඝාතනයක් වැනිය .
එසේනම්, භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඝාතනය සියදිවි නසා ගැනීමක්ද ? දුමින්ද සිල්වා අහිංසකයෙක් ද ? මේවට උත්තර දෙන්නේ කවුද ? පිළිතුරක් නොමැති ප්රශ්නයක් අප ඉදිරියේ හොල්මන් කරනු ඇත .
ශ්රීලාල් ප්රියන්ත

No comments:

Post a Comment