Sunday 18 April 2021

පාස්කු ප්‍රහාරය ගැන කෙස් කෙලින් කරන ලිපියක් දිවයින පුවත්පත පල කරයි


 පාස්කු ප‍්‍රහාරය: සහරාන් හෂීම් මෙහෙයවූයේ කවුද? ප‍්‍රහාරය ”පිටුපස සිටියේ ඉන්දියාව”ද? මැයෙන් බීබීසී සිංහල වෙබ් අඩවිය පසුගිය 08 වැනිදා ඉදිරිපත් කළ පුවත ආන්දෝලනයට තුඩුදී ඇත. නැගනහිර ජැටිය නොලැබීමෙන් දිල්ලිය ආණ්ඩුව ලංකාව සමග අමනාපයෙන් සිටින මේ අවස්ථාවේ පාස්කු ප‍්‍රහාරය ගැනත් එහි ඉන්දීය සම්බන්ධය ගැනත් යළි කතා බහ මතුව තිබේ.

ඉන්දියාව ලංකාව ස්ථාවරව පැවතීමට වඩා අස්ථාවරව පැවතීම ගැන උඩින් නොව යටින් සතුටු වේ. එය ප‍්‍රකට සත්‍යකි. ලංකාවේ හදිසි මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශවලින් මෙරටට මුලින්ම තොරතුරු ලැබී තිබෙන්නේ 2019 අපේ‍්‍රල් 04 වෙනි දිනය. එයින් පසු අපේ ආරක්ෂක අංශ නිසි පරිදි ක‍්‍රියා නොකිරීම නිසා ජීවිත 267 ක් බිලිගනිමින් සහ තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් මහා විනාශයක් සිදුවිය.

පාස්කු බෝම්බ ප‍්‍රහාරය සිදුවී පැය කිහිපයක් ගත්වෙද්දීම ඉන්දීය මාධ්‍ය සහරාන් හෂීම් ශැන්ග‍්‍රිලා හෝටලයේ මරාගෙන මැරුණු බවත් ප‍්‍රකාශ කර තිබිණි. මේ සියලූ විස්තර එතරම් ඉක්මනින් ඉන්දීය මාධ්‍ය ලබාගත්තේ කෙසේද? එහි රහස කුමක්ද? දැන් ඉන්දියාවට පැනගොස් සිටින පුලස්තිනී මහේන්ද්‍රන් ගැන නොයෙක් පුවත් මැවෙයි.
 
 පාස්කු ප‍්‍රහාරයේ සැකකාරියක ලෙස නම් කර සිටින පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළ මොහොම්මදු හස්තුන් යන අයගේ බිරිඳය. පාස්කු ප‍්‍රහාරයෙන් දින කිහිපයකට පසු එනම් 2019 වසරේ අපේ‍්‍රල් 26 දා අම්පාර සායින්දමරුදු හි නිවසක පිපිරීමක් සිදු වූ අවස්ථාවේ ඇයද එහි සිටි බව වාර්තා වී තිබුණද පසුව එහි මියගිය පිරිසගේ සිරුරු ආශ‍්‍රිතව සිදු කළ ඞී. එන්. ඒ. පරීක්ෂණය අනුව සාරා ජෙස්මින් මෙතැන නොසිටි බව තහවුරු වී ඇත.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සෙවීමට පත්කර ඇති ජනපති කොමිසමට පසුගිය වසරේ ජුලි මාසයේදී පැමිණ සාක්ෂි දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතා සඳහන් කළේ සයින්දමර්දු හි මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගත් නිවසේ අවසන් මොහොත දක්වා සාරා ජෙස්මින් නමැත්තිය සිටි බවට විමර්ශන ඔස්සේ අනාවරණය වුවද, පිපිරීමෙන් පසු හමුවූ කිසිදු මළසිරුරක් ඇයගේ මවගේ ඞී. එන්. ඒ. සාම්පල සමග නොගැළපෙන බවය.

ඒ අනුව පිපිරීමට ඔන්න මෙන්න තිබියදී ඇය අතුරුදන්ව තිබේ. සාරා ජෙස්මින්ගේ මව එනම් රාසරත්නම් කවීතා පාස්කු කොමිසමට සාක්ෂි දීමට පැමිණි අවස්ථාවේ කියා සිටියේ හින්දු පවුලක උපන් තම දියණිය, අබ්දුල් රසාක් නම් අයකු විසින් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවාගෙන ඇති බවය. පුලස්තිනී මහේන්ද්‍රන්, සාරා ජෙස්මින් වන්නේ ඒ අනුවය. තම වැඩිමහල් දියණිය වන පුලස්තිනී 1996 වසරේ මඩකලපුව තේතාතිව් නම් ගමෙහි උපත ලබා තේතාතිව් මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ බවත් ඇය කොමිසමට හෙළි කර තිබිණි.

පුලස්තිනී උසස්පෙළ සඳහා ජීව විද්‍යා අංශය තෝරාගෙන කල්මුණේ ප‍්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වී ඇති අතර 2015 වසරේ ජුනි මස 29 වැනිදා සිට අතුරුදන් වූ බව මව කොමිසමට ප‍්‍රකාශ කර තිබිණි. 2020 ජනවාරි මස 10 වැනිදා පුලස්තිනීගේ මව අම්පාර පොලිසියට කැඳවූ අවස්ථාවේදී සයින්දමරුදු නිවස තුළ සිදුවූ පිපිරීම් මාලාවෙන් පසු හමුවූ රත‍්‍රං ආභරණවල ඡුායාරූප පෙන්වනු ලැබුවත් ඒ අතර තම දියණිය වෙත ලබාදුන් රන් ආභරණ නැතැයි ප‍්‍රකාශ කළ බවත් ජනපති කොමිසමේදී හෙළිවිය.
 
 පාස්කු ප‍්‍රහාරය හා ඉන්දියාව අතර සබැඳියාව විමර්ශනය කරන අතර පකිස්තාන මාධ්‍ය මීට මාස කිහිපයකට පෙර හෙළිකළ පුවතකට අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ පකිස්තානයේ හිටපු අභ්‍යන්තර කටයුතු ඇමැති මෙන්ම වත්මන් සෙනෙට් සභික රෙහෙමාන් මලික් මහතා ඉන්දියාවේ රෝ ඔත්තු සේවය හා අයිසිස් සංවිධානය අතර ඇති සම්බන්ධය හෙළි කර තිබීමය. මේ පුවත එරට පුවත්පත්වල Rehman Malik terms India a Daesh hu මැයෙන් පළව තිබිණි.

බොහෝදෙනා පිළිගන්නා ආකාරයට සාරා ජෙස්මින් යනු සහරාන්ගේ කල්ලියේ සිටි රෝ ඔත්තුකාරිය වන අතර ඇය මරාගෙන මැරෙන බෝම්බයට බිලි නොවී පසුව රහසේම ඉන්දියාවට යන්නේද මේ බලගතු ඔත්තු සේවයේ සහාය නිසාය. එක අවස්ථාවක පාස්කු කොමිසමට පැමිණි බුද්ධි නිලධාරියකුගෙන් පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ රෝ ඔත්තු සේවය තොරතුරු දැන ගත්තේ කෙසේදැයි ප‍්‍රශ්න කර තිබිණි. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු ප‍්‍රකාශ කර තිබුණේ ප‍්‍රහාරයෙන් පසු ජාතික තව්හිද් ජමාද් සංවිධානයට සම්බන්ධ 97 දෙනකුගෙන් පමණ තමන් ප‍්‍රශ්න කළද ප‍්‍රහාරය පිළිබඳ ඊට පෙර දැන සිටියේ සහරාන්ගේ බිරිඳ වන හාදියා සහ සහරාන් සමීපව ඇසුරු කළ නව්ෆර් මව්ලවි පමණක් බවයි.

සාරා නමැත්තිය ප‍්‍රහාරය පිළිබඳ සියලූ තොරතුරු දැන සිටියේදැයි කොමිසම විමසූ විට බුද්ධි නිලධාරියා පවසා තිබුණේ සහරාන්ගේ බිරිඳගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී සාරා නමැත්තිය ප‍්‍රහාරය පිළිබඳ සියලූ තොරතුරු දැනසිටි බව හෙළිවූ බවයි. ඇත්තෙන්ම දැනට හෙළිව ඇති කරුණු අනුව හාදියාට වඩා සාරා හෙවත් පුලස්තිනි කරුණු හොඳින් දැන සිටි බව තහවුරු වේ. මන්ද දළදා පෙරහැරට ප‍්‍රහාර එල්ල කිරීමේ අරමුණින් ගිරිඋල්ලේ කඩයකින් සුදු ඇඳුම් මිලදී ගත් විට ඒ ගැන සහරාන්ගේ බිරිඳ සාරාගෙන් විමසා තිබිණි.

එවිට ඇයි ඔයා දන්නේ නැද්දැයි සාරා තමන්ගෙන් විමසූ බව හාදියා බුද්ධි නිලධාරීන්ට හෙළිකර තිබිණි. මේ සියලූ කරුණු අනුව නිසාම රෙහෙමාන් මලික් ඉන්දියාවේ රෝ ඔත්තු සේවය හා අයිසිස් සම්බන්ධය ගැන හෙළිකරන කතාව අපට වඩා වැදගත්ය. පකිස්තාන හිටපු ඇමැතිවරයා හෙළිකරන්නේ ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් 2014 දී ඉරාකයට ගොස් අයිසිස් සංවිධානයේ ප‍්‍රධානීන් හමුවී ඇති බවයි. (අජිත් දොවාල් වසර 7කට ආසන්න කාලයක් පාකිස්තානය තුළ පාකිස්තානුවකු ලෙස දිවිගෙවමින් ඉන්දියාවට ඔත්තු සැපයූ නිලධරයෙකි)

ඉන්දියාව අයිසිස් සංවිධානය යොදාගෙන චීනයට, පකිස්තානයට මෙන්ම සෙසු ආසියානු කලාපයේ රටවලට ප‍්‍රහාර කිරීමට සැලසුම් සකස් කළ බව රෙහෙමාන් මලික් කියයි. එසේනම් පාස්කු ප‍්‍රහාරය යනු කවරක්ද? නරේන්ද්‍ර මෝදි කොච්චිකඬේ පල්ලියට පැමිණ විනාශය ගැන කම්පාවූයේ සද්භාවයෙන්ද? එක්සත් ජාතින් විසින් නිකුත් කළ ඇති ත‍්‍රස්ත තොරතුරු වාර්තාවට අනුව අයිසිස් සාමාජිකයන් බහුලව සිටින ඉන්දීය ප‍්‍රාන්ත වන්නේ කේරලය හා කර්නාටකයයි.

රෝ ඔත්තු සේවය බලූකිස්තානයේ මෙන්ම වයඹ දිග පකිස්තානයේ අවුල් ඇති කිරීමට අයිසිස් ත‍්‍රස්තයන් යොදාගන්නා බව මලික් හෙළි කරයි. රෝ ඔත්තු සේවය 2015 දී රෙජීම වෙනස ඇති කරන්නට මූලික විය. 2014 සැප්තැම්බරයේ ඉන්දියාවේ අනුදැනුමකින් තොරව චීන සබ්මැරීන 2ක් ලංකාවට සේන්දු වූ අතර ඉන්දියාව එය දැක්කේ තම බලප‍්‍රදේශයට පැමිණි ආක‍්‍රමණයක් ලෙසය. එහි ප‍්‍රතිඵලය වූයේ ශ‍්‍රී ලංකාව තුළ බල පෙරළියක් සිදුවීමට පාර කැපීමයි. ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි ගණනින් පොම්පවන්නට විය. 2014 දී කැඞී වෙන්ව තිබූ විපක්ෂ බලවේග එක් කළේද කොළඹ සිටි රෝ නියෝජිතයා විසිනි. තමන් පත්කළ ආණ්ඩුවටම අවසානයේ රෝ අනුහසින් ප‍්‍රහාර එල්ලවූවා නොවේද? සහරාන් හෂීම් දේශනා පවත්වන්නට ඉන්දියාවට ගියේය. ඉන්දීය අන්තවාදීන් සමග තමිල්නාඩුවේ මෙන්ම කේරලයේද කරක්  ගැසුවේය. මේවා ඉන්දීය ඔත්තුසේවා නොදැන සිටියාද?
 
 ඇත්තෙන්ම ෂැංග‍්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළ මොහමඞ් සහරාන් හෂීම් ප‍්‍රහාරයේ ‘‘මහ මොළකරු” හෝ නායකයා ලෙසින් බොහෝ දෙනා හඳුන්වන නමුත් ප‍්‍රහාරය මෙහෙයවූ පුද්ගලයා ඔහු නොවන බව විමර්ශන පැවැත්වූ රහස් පරීක්ෂකයන්ගේ මතය වී තිබේ.

සහරාන් හෂීම් ප‍්‍රහාර සියල්ල සංවිධානය කළ පුද්ගලයා විය නොහැකි බව පාස්කු ජනාධිපති කොමිසම හමුවේ කියා සිටි විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, එය මෙහෙය වූ පුද්ගලයා සොයාගත යුතු බවත්, එම තැනැත්තා හෝ කණ්ඩායම සොයාගන්නා තුරු ඒ පිළිබඳ විමර්ශන ‘‘අසම්පූර්ණ” බවත් අවධාරණය කර තිබිණි. එසේම හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඉකුත් වසරේ ජුලි 28 වැනිදා පාස්කු කොමිසමට හෙළි කර සිටියේ තව්හීද් ජමාත් සංවිධානයේ සැබෑ නායකයා සහරාන් හෂීම් නොව නවුෆර් මවුලවි නමැත්තා බවයි.

කල්මුනේ සයින්දමරුදු බෝම්බ ප‍්‍රහාරයෙන් දිවි ගලවාගත් සහරාන්ගේ බිරිය එනම් අබ්දුල් කාදර් ෆාතිමා කාදියා පවා පොලිසියට හෙළි කර තිබුණේ තව්හිද් ජමාත් සංවිධානයේ සැබෑ නායකයා තම සැමියා නොව නවුෆර් මවුලවි නමැත්තා බවයි. අයිසිස් අන්තවාදය පතුරුවමින් සිටි සහරාන්ට අවශ්‍ය වන්නේ ලංකාව පුරා එකවර ප‍්‍රහාර 20ක් කිරීමටය. නමුත් නවුෆර් මවුලවි මෙයට එරෙහි වෙයි.

සහරාන් පවුලේ උදවියට විශේෂයෙන් සලකන බවත් චෝදනා කරයි. එනිසා නවුෆර් වෙනම කණ්ඩායමක් ගොඩනගා ගනී. සහරාන් සමග මරාගෙන මැරෙන්නට සිටි සමහරු නවුෆර් සමග වෙන් වෙති. සහරාන්ට තරම් හදිසියක් නවුෆර්ට නැත. එසේනම් නවුෆර් මෙහෙය වූයේ කවරකුද? මොහු සිටින්නේ රහස් පොලිස් අත්අඩංගුවේය. නවුෆර්ගෙන් වෙන්වූ සහරාන් මෙහෙය වූ අදෘශ්‍යමාන හස්තයක් තිබුණේද? කිසියම් කෙනෙක් හෝ පාර්ශ්වයක් මෙහෙයෙව්වාද? සහරාන් හදිස්සි කළ විදෙස් බලවේගය කුමක්ද?
 
 විපක්ෂය අද පවසන්නේ සහරාන්ගේ ප‍්‍රහාරය නිසා නැවත රාජපක්ෂ වරුන්ට බලයට පැමිණීමට හැකිවූ බවයි. යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාව පාවා දෙනබව 2015 මුල සිටම ජනතාවට ක‍්‍රමයෙන් අවබෝධ විය. පොහොට්ටුවට රටේම ප‍්‍රාදේශීය සභාවල බලය අල්ලා ගත්තේ 2018 පෙබරවාරියේදීය. ඒ වන විට සහරාන් බෝම්බ ප‍්‍රහාරයට සූදානම්ව සිටියා දැයි අප දන්නේ නැත. මේවා සැබවින්ම විහිළු කතාය. පාස්කු ප‍්‍රහාරය නිසා රටට බලවත් නායකයෙක් අවශ්‍ය බව ජනතාවට ඉතා හොඳින් පසක් විය. පාස්කු ප‍්‍රහාරය සිදු වුවත් නැතත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණෙන බව සහතිකය. පාස්කු ප‍්‍රහාරය නිසා සිදුවූයේ හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට නැවත ජනපති සටනට ඒමේ අවසාන බලාපොරොත්තුවද නැතිව යාමය.

උපුටා ගැනීම – චතුර පමුණුව දිවයින

පසු සටහන – තුවක්කුව බැන්දේ කවුද කියා නොපෙනුනාට දඩයම කරේ තියාගෙන යන එකාගෙන් තුවක්කුව බැන්ඳේ කවුද කියා කිව හැක . දඩයම කරේ තියාගෙන ගියේ මෝදි සහ ගෝඨාය . නමුත් සහරාන්ගේ බිරිද හෙළිකොට ඇති කරුණු කෙස් කරන සුළුය . ඇය හෙළි කළ කරුණු අනුව පාස්කු පූජාවට සියඹලා ගෙනවිත් ඇත්තේ ගෝඨා නොව බැසිල්ය

No comments:

Post a Comment