Sunday 18 April 2021

ජනතා අභිලාෂවලට පි‍ටුපා රාජපක්ෂ රෙජීමයට කැකුණ තලන ලංකාවේ විපක්ෂය

 


පසුගිය පාර්ලීමේන්තු මැතිවරයේදී එජාපය අතු ගැවී ගිය බව රහසක් නොවේ. එජාපය මේවන විට බෝඩ් ලෑල්ලක් පමනි. එජාපය යලි ගොඩගැනීමට නම් අර්ථවත් ප්‍රතිසංවිධානයක් කළ යුතුමය. එය පසෙකලා තනතුරු වලට කුලල් කා ගැනීම අසූචි පිඩකට ඔට්‍ටුවන පනු ‍රැලකට දෙවෙනි නැත.

එජාප මිනී පෙට්ටියේ අන්තිම ඇණය

පසුගිය මැතිවරණයෙදී ලක්ෂ 20 පමන එජාප පාක්ෂිකයන් පිරිසක් ඡන්ද පොළට ආවේ නැත. එජාපය අතුගැවී ගිය අතර සජිත්ගේ නව පක්ෂයට සැලකියුතු ජන වරමක් ලැබුනි. එජාප ඡන්ද දායකයන්ගේ එවැනි හැසිරීමකට හේතුව පරාජිත සජිත් කෙරේ වූ විශ්වාසය නොව ජනයාට රනිල් එපා වී තිබීමය. තත්වය එසේ තිබියදී යලි රනිල් එජාප නායකත්වයට පත්කිරීම, එජාප මීනී පෙට්ටියේ අන්තිම ඇණය ගැසීමට දෙවෙනි නැත. සජිත් ප්‍රේමදාසගේ භූමිකාවද රනිල්ට දෙවෙනි නැත. ඔහු කූට ලෙස එජාප ඡන්ද දායකයා හයි ජැක් කළා මිස ඉන් ඔබ්බට යමක් කිරීමට අපොහොසත් විය. දක්ෂයාට නිසි තැන දී පක්ෂය ගොඩනැගීමට සජිත් පසුබටය.

එජාපය නියෝජනය කරන්නේ මහජන පරමාධිපත්‍යද වික්‍රමසිංහ පවුලද ?

එජාපය යනු මහජන පරමාධිපත්‍ය බලගන්වන ආයතනයක් නම් මේ අවස්ථාවේ රනිල් කළ යුතු වන්නේ අර්ථවත් ප්‍රතිසංවිධානයකට ඉඩ දීමය. නමුත් රනිල් දිගින් දිගටම එජාප නායකත්වයට කුරුමාණම් ඇල්ලීමෙන් එජාපය වික්‍රමසිංහ පවුලේ බූදලයක් ලෙසින් සිතා කටයුතු කරන බව පෙනී යයි .රනිල් යනු අත්පොළසන් වර්ෂාවක් මැද එජාප වේදිකාවෙන් සමුගතව හැකිව තිබූ නායකයෙකි . නමුත් සජිත්ගේ බිදී යාමෙන් එම තත්වය ඔහුට අහිමි විය . රනිල්ගේ කල්ක්‍රියාව හේතුවෙන් මේවන විට එජාපයේ තවත් පළුවක් ගැලවී යාමේ අවධානම මතුව ඇත. මෙම අවධානම සජිත්ටද නැත්තේ නොවේ.

පසුගිය 13 වැනිදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සත්‍ය ලෙසම සිදු වූයේ කුමක්ද ?

පසුගිය 13 වැනිදා එජාපයට නව නිලධාරී මඩුල්ලක් පත්කර ගැනීම සදහා කෘත්‍යාධිකාරී මණ්ඩල ‍රැස්වීමක් පැවැත්වුණි.එහිදී නවීන්, රවි,අර්ජුන සහ ලක්ෂ්මන් විජේමාන්න රනිල් තවදුරටත් නායකයා ලෙස කටයුතු කිරීම පක්ෂ ප්‍රතිසංවිධානයට බාධාවක් බවට මූලික විරෝධයක් ගොණු කළහ. එපමනක් නොව රනිල්ගෙන් තනතුරක් ලබා ගැනීම වෙනුවට රනිල්ට විරෝධය පල කරමින් ‍රැස්වීම්න් ඉවත්ව ගියහ. එජාපය බෝඩ් ලෑල්ලකට සීමා වී තිබුනද රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේ සටන තුල එජාපය නම් පක්ෂයට කළ හැකි කාර්යභාර්ය විශාලය. එනයින් බලන කල, එජාපයේ අභ්‍යන්තර අර්බුධය ”මණ්ඩලේ කචල්” එකකට වඩා ජාතික තලයේ ගැටළුවකි

සෝනියා ගාන්ධිගේ භූමිකාව දක්වා විතැන් වීම සහ අර්ථවත් ප්‍රතිසංවිධානයකට ඉඩ සැලසීම

රනිල් යනු සොරකම් නොකළ නායකයෙකි. සිය බුද්ධිමය පරිකල්පනය භාවිතා කොට රටට අපමන සේවයක් කළ අයෙකි. නමුත් දේශපාලන කරළියේ නව ‍රැළි, පෙරළි, ප්‍රවනතා ලෝක ස්වභාවයකි.පවතින තත්වය අනුව රනිල් නායකත්වය දරන එජාපය ” මාකට්” කිරීම දුෂ්කරය .එය පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයෙදී සක්සුදක් සේ පැහැදිලි විය.කරුණු එසේ හෙයින්, රනිල් මේ අවස්ථාවේ සෝනියා ගාන්ධිගේ භූමිකාව දක්වා විතැන්වී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංවිධනයකට ඉඩ දිය යුතුය. අභ්‍යන්තර සටන් නිමා කොට පුළුල් පෙරමුණක් බිහිකොට පොදු සතුරා පරාජය කිරීමට පෙරමුණ ගත යුතුය. අවාසනාවට රනිල්ට සජිත්ට එවැන්නක් පිළිබදව වගේ වගක් නැත.

ජන 8 විප්ලවය අල කළේ කවුද ?

2015 ජන විප්ලවය අල වූයේ රනිල්ගේ බල තන්හාව නිසාය. මංගලගේ සැලැස්ම අනුව එම මැතිවරණයෙදී ජනපති අපේක්ෂකයා කිරිමට නියමිත වූයේ කරුය , සිරිසේන අගමැති අපේක්ෂකයා විය. නමුත් රනිල්ට තනතුරක් නොවූ හෙයින් කූටලෙස මුල් සැලැස්ම වෙනස් කළේය. තවද යහපාලන ආණ්ඩුව තුල රාජපක්ෂලා ආරක්ෂා කළ අය අතර රනිල් ප්‍රධාන චරිතයකි. ජන 8 විප්ලය අහිමි කිරීමේ පලමු වග උත්තරකරු සිරිසේන නොව රනිල්ය. රනිල්ගේ නායකත්වය රාජපක්ෂලාට එරෙහි පුළුල් දේශපාලන පෙරමුණක් ගොඩ නැගීමට බාදාවකි.එහෙයින් රාජපක්ෂලාට එරෙහි බලවේගයක් ගොඩනැගීමේදී රනිල් වැනි අයෙකු සිටීම අනිත් පාර්ශවයන්ට ගැටළුකාරී වීම නොවැලැක්විය හැක. සිරිසේන සමග ගෝනි සෙල්ලම් කළ සජිත්ද ජන 8 විප්ලවය පාවාදීමට නොමසුරුව දායක වූ බව අමතක කළ නොහැක.

රාජපක්ෂ දේශපාලනයෙන් විපක්ෂය උගත යුතු පාඩම් බොහෝය

රාජපක්ෂ දේශපාලනයෙන් විපක්ෂය උගත් යුතු පාඩම් බොහෝය. 2015දී පරාජය වූ මහින්ද රනිල්ගෙන් හෙලිකොප්ටරයක් ඉල්ලා ගෙන මැදමුලට ගියේය, මැදමුලන ජනෙල් පොල්ලේ එල්ලී කෙස් කෙලින් කරන කථාවක් කළේය. මහින්ද පරාජය වූ ඊලග පැයේ සිට සටන දියත් කළේය. බැසිල් කල් යල් බලා නව දේශපාලන පක්ෂයක් පිහි‍ටු වූයේය. බැසිල් ත්‍රී වීල් මල්ලිලා , කට්ටඩියා , පොල් කඩන්නා පමනක් නොව නගරයේ යාචකයාද නව පක්ෂයට සම්බන්ද කොට ගත්තේය. බිම් මට්ටමේ දැවැන්ත අඩිතාලමක් මත නව පක්ෂය ගොඩ නැගුවේය.

බිම් මට්ටම ගොඩ නැගූ බැසිල් නොවටිනා සමුකාර ඡන්දයට ජාතික වැදගත්කමක් ආරෝපනය කළේය. බැසිල් මැතිවරණ සටන පටන් ගත්තේ සමුපකාර ඡන්දයෙනි. 2018 දී පලාත් පාලන මැතිවරණයේ සිය ශක්තිය උරගා බැලූ බැසිල් ඉන් වසර 2ක් ගතවෙත්ම ජයග්‍රාහීව සටන අවසන් කළේය.

දේශපාලකයන්ගේ බල පොරය සහ විප්ලවීය වෙනසක් ඉල්ලා සිටින ජනතාව

රාජපක්ෂ රෙජීමය 2015 මැතිවරණයට දැවැන්ත මුදලක් යට කළේය . ලංකාවේ සෑම ලයිට් කනුවකම මහින්දගේ කටවුට් එකක් එල්ලුවේය. අවුකන බුද්ධ ප්‍රතිමාව පරයන කටවුට් වලින් නගර සැරසුවේය. ඡන්ද අල්ලස් ලෙස මිල මුදල්, සිල් රෙදි, ගොඩනැගිළි උපකරණ මෙකී නොකි බොහෝ දෑ බෙදා දුන්නේය. නමුත් ජනයා රාජපක්ෂලා බලයෙන් එළවා දැමූහ .මහජන මතය නිදාසිටින සිංහයෙකු බඳු විය

ගෝඨාන්ඩුව තරම් දුෂ්ඨ, ගෝනි සෙල්ලම් ආණ්ඩුවක් ඉතිහාසයේ තවත් නොමැත. විදේශ ශ්‍රමිකයක් ගෝඨා දිනවීමේ සටනේ ගාමක බලවේගයක් විය. නමුත් කොරෝනා උවදුර පැමිණි විට ඉතාලි ශ්‍රමිකයන්ට සැලකුවේ ත්‍රස්තවාදීන්ට මෙනි. කුවේට් වලින් අපිට බෝම්බයක් එව්වා කීවේය. විදේශ ශ්‍රමිකයන්ට දොර වැසූ ගෝඨාණ්ඩුව සී ශෙල් වැසියන්ට සහ බෝරා ප්‍රජාවට ගුවන්තො‍ටුපල විවෘත්ත කළේය. අසරන විදේශ ශ්‍රමිකයන් අනාථ කළා පමනක් නොව නීරෝධායන මුවාවෙන් ලක්ෂ ගණනින් ගසා කෑවේය. මෝටර් සයිකල් කර්මාන්ත කරුවන් අනාථ කළේය. ගොවියා අනාථ කළේය. සාහසික ලෙස කැලෑ විනාශ කළේය. දේශපාලන එහෙයියන්ට ගල් වැලි ඇතුළු ස්වාභාවික සම්පත් කොල්ල කෑමට ඉඩ දුන්නේය.විද්‍යාව වෙනුවට මිත්‍යාව වැපුරුවේය.

කරුනු එසේ හෙයින්, දුෂ්ඨ ගෝඨාණ්ඩුවට පාඩමක් ඉගැන්වීමට ජනයා බලා සිටියි. ජනතා අභිලාෂ මල්පල ගැන්වීමට දේශපාලකයන් එකමුතු විය යුතුය.එය ඔවුන් විෂයේ අත්හල නොහැකි වගකීමකි. 2015දී ශක්තිමත් මහින්ද ආණ්ඩුව ගෙදර යැවූ ජනයාට පිස්සු කෙලින ගෝඨාණ්ඩුව ගෙදර යැවීම කජ්ජක් නොවේ

උපුටා ගැනීම ලංකා ඊ නිවුස්

No comments:

Post a Comment