Wednesday 21 April 2021

පාස්කු බෝම්බ ප්‍රහාරකයන්ගේ සන්නිවේදන වලින් හෙළි වූ බොස් කවුද ? ආණ්ඩුවේ බාදා මැද මනූෂ ප්‍රශ්න කරයි



පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වූ, එනමුත් මාධ්‍යට අනාවරණය නොවුණු ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙ මනූෂ නානායක්කාර  පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේය.

"ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරාගන්න හිටියෙ ජමීල් කියලා කෙනෙක්. ඔහුට බෝම්බය පුපුරා ගන්න බැරිවෙනවා. ඔහු මේක පුපුරාගන්නෙ දෙහිවල හෝටලයකදි. මේ බෝම්බය පුපුරවාගන්න ඉස්සෙල්ලා බෝම්බකරුගේ ගෙදරට බුද්ධි අංශයේ සහ ටීඅයිඩී එකේ නිලධාරීන් දෙන්නෙක් යනවා. 

එහෙම නම් ඒ යන්නෙ මේ බෝම්බ ප්‍රහාරය සඳහා ජමීල් සම්බන්ධ වෙනවාය කියලා අපේ බුද්ධි අංශයෙ නිලධාරීන් දන්න නිසා. මේක මම කියන කතාවක් නෙවෙයි, පොලිස්පති පූජිත් ජයසුන්දර කියපු දෙයක්. 

දෙවැනි කාරණය, පාස්කූ ප්‍රහාරය සම්බන්ධයෙන්  IP එඩ්‍රස් එකකින් සැකකරුවෙකු සොයා ගන්නවා.ශානි අබේසේකර  ඒ පුද්ගලයාව  අත් අඩංගුවට අරගෙන සීඅයිඩී එකට ගෙනාවාම මේක අපේ ඔපරේශන් එකක් කියලා එළියට අරගෙන යනවා හමුදා බුද්ධි අංශයෙන්. 

එතකොට එතනින් පස්සෙ මේ පිළිබඳව මේ බුද්ධි අංශ නිලධාරියාව නැවත වතාවක් ගෙනල්ලා ඔහු සහරාන් ඇතුළු කණ්ඩායම එක්ක තියපු පරීක්ෂණ මොනවද, සම්බන්ධතා මොනවද කියලා පරීක්ෂණ කරලා ඒ පිළිබඳ මේ වාර්තාවෙ තියෙනවද නැද්ද ? 

තුන්වෙනි කාරණය කටාර්වල ඉඳලා එන මාතලේ සහරාන් කියන පුද්ගලයා හම්බවෙන්න යනවා බුද්ධි අංශයේ සොනික්  කියන කෝඩ් එකෙන් හඳුන්වන පුද්ගලයා. මේ පුද්ගලයා ගිහින් අහනවා මේ ප්‍රහාරයේ වගකීම බාරගන්නෙ නැත්තෙ ඇයි තාම අල් බග්ඩාඩි කියලා. 

එතකොට කියනවා තවම දිවුරුම එළියට ඇවිල්ලා නෑ කියලා. එතනින් ඉන්දුනීසියාවට කෝල් එකක් යනවා. ඉන්දුනීසියාවට කෝල් එක ගියාට පස්සෙ තමයි මේ පණිවිඩය දෙන්නෙ හරි අපි දැන් අප්ලෝඩ් කරන්නම් කියලා එතකොට සොනික්  කියන එක්කෙනාට කියනවා. ඔහු අප්ලෝඩ් කරනවා, ඊට පස්සෙ තමයි අර අයිඑස් අයිඑස් නායකයා මේ වගකීම බාරගන්නෙ.

 ඒවගේම අර්ජුන් මහීන්කන්ද පොලිස් පරීක්ෂකතුමා පොලිසියට සාක්ෂි දෙමින් පැහැදිලි කරනවා  සාරා ජීවතුන් අතර ඉන්න බවත් මුහුදෙන් ඉන්දියාවට පළායාම පිළිබඳව පැහැදිලිව සාක්ෂි ඉදිරිපත් කරන්න හැකියාව තිබෙන බවත් (ඔහු කොමිසමට දැනුම් දෙනවා). හැබැයි එහෙම කොමිසමට දැනුම් දීලා තියෙද්දි සරත් වීරසේකර ඇමතිවරයා කියනවා සාරා පිළිබඳ හරි තොරතුරක් නෑ කියලා. ඇයි සාරා පිළිබඳ තොරතුර යටගහන්නෙ ?

පාස්කු විමර්ශන වාර්තාව නිතිපතිට දුන්නා. මුලින් දුන්නේ බාගයයි.  එතකොට නීතිපති කීවා බාගයක් කියවලා නඩු දාන්ඩ බෑ කියලා. පස්සේ මුලු වාර්තාව යැව්වා.දැන් නීතිපති  චූදිතයන්ට නඩු පවරන්ඩ වාර්තාව අධ්‍යනය කරනව. දැන්  ලංකාවේ බුද්ධි අංශයට නායකත්වය දෙන  පුද්ගලයෙක්  නීතිපතිවරයා ගාවට හැමදාම යනවලු එහෙ වෙන දේ බලාගෙන ඉන්ඩ !

තවත් කරුනක්, FBI එක හොයලා දීපු තොරතුරු අනුව, සහරාන්ලා තොරතුරු හුවමාරු කරගෙන තිබුණෙ ත්‍රීමා කියලා ඇප් එකකින්. ඒකෙ තොරතුරු අනුව දුරකථන සංවාදවල, එක තැනකදි කියනවා "අපේ ක්‍රියාදාමය ප්‍රමාදකිරීම හොඳ නෑ, ඉක්මනට කරන්න ඕනෙ, මේ ප්‍රමාදය ගැන බොස් ඉන්නෙ අසතුටෙන්, බොස් කියනවා ඉක්මනට කරන්න කියලා" මේ කියන බොස් කවුද ? 

මේවා කිසිවක් අපි හොයාගත්ත කරුණු නෙවෙයි, ශ්‍රී ලංකා පොලිසියෙ සීඅයිඩී එක හොයාගෙන පාස්කු කොමිසම ඉදිරියේ කියපු කාරණා. අපි ආයෙ සීඅයිඩී එකට ගිහින් කියන්න දෙයක් නෑ, මේක තියනවා එහෙ" මනූෂ නානායක්කාර මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. මෙහිදී ආණ්ඩු පක්ෂයෙන් විටින් විට බාධා එල්ල කෙරෙන ආකාරයත් දැකගත හැකිවිය.

No comments:

Post a Comment